Beauty
මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න
මංගල දිනයට සූදානම් වෙද්දි රුව ගැනත් හිතන්න දේවල් මොනතරම් තියෙනවද? මේ එක්කම මුහුණේ දුර්වර්ණතා ලප, කැළැල්, කුරුලෑ නිසා ඇති වූ වළවල් තියෙනවද? ඒවා කෙතරම් දුරට අවලස්සන පෙනුමක් ගෙනදී තිබෙනවාද යන්න ගැනත් විමසා බැලිය යුතු වෙනවා.
ළප කැළැල්වලින් තොර වූ තරමට සම පැහැපත් වූ තරමට මනාලියකගේ මුහුණ වඩාත් ලස්සනයි. මෙවන් අයට මේක්අප් එකකින් පවා ගෙන දෙන්නේ ලස්සන පෙනුමක්. ඒත් සමහරවිට ඕනෑවට වඩා මනාලියට මේක්අප් කර ඇති අවස්ථාවන් ද දක්නට ලැබෙනවා. බොහෝවිට ඇයගේ මුහුණෙහි සිදුරු වළවල්, කැළැල් වෙත්නම් ඒවා මේක්අප්වලින් පිරවීමට සිදුවනවා. එවිට මේක්අප් වැඩි බවක් පෙනෙනවා. එය මනාලියගේ ලස්සන පෙනුමට බාධාවක්.
මේ නිසා වඩාත් සුදුසු වෙන්නේ මංගල දිනයට මාස හයක් අටක් වැනි කාලයක් තිබියදී මේවා ප්‍රතිකාර සහ සත්කාර මඟින් සුවකර ගැන්මයි. මුහුණේ කුරුලෑ ඇත්නම් මුලින්ම එය සුවකර ගැන්ම ඉතා වැදගත්. ඒ සඳහා මාස දෙක තුනක කාලයක් ගතවෙනවා. කුරුලෑ සුව වුවත් එහි පැල්ලම් ඉවත් වෙන්නත් සම සාමාන්‍ය තත්ත්වෙට පත්වෙන්නත් මාස දෙකක් පමණ ගතවෙනවා. මේ හැරෙන්නට අව්වේ යාම, කම්පියුටර් ළඟ නිතර රැඳීම, ටියුබ් ලයිට් අසල වැඩිවේලා ගතකිරීම නිසාද සමේ පැල්ලම් ඇතිවිය හැකියි. අනෙක් කරුණ නම් සම සුදුවීමට යයි සිතා රසායනික ද්‍රව්‍ය අඩංගු (බ්ලීචින්) ආලේපන භාවිත කිරිමයි. මේ නිසා ද සම කළු වෙන්නට පුළුවන්.
විවාහයට ආසන්න සති කීපයේදී මෙවන් දේ සඳහා ප්‍රතිකාර කිරීමෙන් ප්‍රයෝජන ගන්නට බැහැ. ඒ නිසයි අප කියන්නේ මනාලියක් වෙන්නට සිටින තරුණිය කල්වේලා ඇතුව මේ සඳහා ප්‍රතිකාර ගතයුතු බව. යමෙකුට නිරෝගී හොඳ සමක් තිබෙනවා නම් ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒ අයට නිකරුණේ මුහුණට ප්‍රතිකාර සත්කාර කිරීම අවශ්‍ය නෑ. සම ඒ ආකාරයටම පවත්වාගෙන යන්නට පුළුවන්. මේ අය සමට සුදුසු ෆේස්වොෂ් ක්ලෙන්සර්, මොයිස්චර්රයිසර් සහ සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීම වැදගත්.
ඒ වගේම මේ අයට විවාහයට මාසයකට හෝ සති දෙකකට කලින් ක්ලීන්අප් එකක් ෆේෂල් එකක්, ඇහිබැම සැකසීම වැක්ස් කිරීම වැනි දේ කරන්නට පුළුවන්. නමුත් විවාහයට පෙර දිනයේ ඇහිබැමි සැකසීම, වැක්ස් කිරීම වැනි දේ නොකළ යුතුයි. එසේ කිරීමෙන් මනාලිය වන දිනයේ ඇස්වල ඉදිමුණු ස්වභාවයක් මෙන්ම මුහුණේ යම් යම් වෙනස්වීම පෙන්නුම් කරන්නටද එය හේතුවක් වන්නට පුළුවන්.
යමකුට මුහුණේ කුරුලෑ නිසා ඇති වූ සිදුරු වළවල් (ස්කාෆ්) ප්‍රශ්නයක් නම් දැන් එවන් දේ ඉවත්කරන නවතම ප්‍රතිකර්ම තිබෙනවා. මෙය හඳුන්වන්නේ ඩර්මාබ්‍රේෂන් වශයෙන්. මෙමඟින් මුහුණේ සම සුමුදු කිරීම සමේ වළවල් ඉවත්කර සම එක මට්ටමකට ගෙන ඒම සිදුවනවා. කුරුලෑ වළවල් ඇති මුහුණකට මෙම ප්රතිකර්මය කළ පසු මේක්අප් වලදී සමේ අපැහැදිලිබව අසමානකම් පෙනෙන්නේ නැහැ. මනාලියට මේක්අප් එක කළවිට ස්වභාවික පෙනුමක් ගෙන දෙනවා.
සමේ කුරුලෑ ඇතිවීම වඩාත් ලොකු ප්‍රශ්නයක් කරගත යුතු නෑ. හේතුව මෙයට සාර්ථක ප්‍රතිකර්ම තිබෙන නිසයි. මේ නියමිත ඖෂධීය ගුණ තිබෙන ෆේස්වොෂ්. ෆේස්පැක් වැනි දේ භාවිත කරන්නට ඕන. ඒ වගේම ඉඳහිට හෝ ක්ලීන්අප් එකක් කිරීම වැදගත්. නියමිත ප්‍රතිකර්ම සහ සත්කාරවලින් කුරුලෑ මාස දෙක තුනකින් සුවවනවා. කුරුලෑ සුව වූ පසු සමේ කුරුලෑ කැළැල් ඇතිවිය හැකියි. නමුත් එම කැළැල් ඉවත්කර ගන්නට පුළුවන්. කුරුලෑ කැළැල් ඉවත්වීමටත් කාලයක් ගතවෙනවා. එම නිසයි කල්වේලා ඇතිව මෙවන් දේ සඳහා ප්‍රතිකාර කළ යුතු වෙන්නේ.
සමේ කළු පැහැයක් ඇතිවීම සමහරුන්ට ප්‍රශ්නයක්. විශේෂයෙන් මංගල දිනයට කලින් සමේ ඇති කළු පැහැය ඉවත්කර ගැන්මට සමහරුන් සැලැකිලිමත්වනවා. නමුත් මෙතනදී සුදුවීමේ විවිධ උපක්‍රම නිසා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන, ප්‍රතිකර්ම (බ්ලීචින්) කිරීමට යාමෙන් වැළකිය යුතුයි. මෙවන් දේ වලින් සමට හානිකර තත්ත්වයක් ගෙන දෙන්නට පු ළුවන්. එම නිසා මෙවන් දේ ගැන සැලැකිලිමත්ව කටයුතු කිරිම වැදගත්.
සම කළුවෙලා නම් සුදු වෙන්න අවශ්‍ය නම් ස්වභාවිත ද්‍රව්‍ය උපයෝගීී කරගෙන එවන් ප්‍රතිකර්ම පහසුවෙන් කරන්නට පුළුවන්. ස්වාභාවික ප්‍රතිකර්ම සාර්ථකයි. කිසිදු අහිතකර ප්‍රතිඵලයක් නොමැති නිසා බියක් සැකක් ඇතිකර ගැනීමට ද අවශ්‍ය නෑ.
නමුත් මෙවන් ප්‍රතිකාර ක්ෂණික ඒවා නොවෙයි. මේ සඳහා අවශ්‍ය වන්නේ කාලයයි. සාර්ථක ප්‍රතිකර්ම මඟින් සමට හොඳ පෙනුමක් ගෙන දෙනවා. ඔබගේ රුව සම්බන්ධව තිබෙන ගැටළුවලට කල්වේලා ඇතුව ප්‍රතිකර්ම යොදනවානම් තමන්ගේ රුව ගැන කනස්සල්ලට පත්නොවී මංගල දිනයේ සුන්දර මනාලියක්වීමේ වාසනාව උදාවේවි.
(under the courtesy of goodhousekeeping.lk web)